Total Pageviews

Sunday, July 9, 2017

ඓතිහාසික කසාගල රජමහා විහාරය



කසාගල රජමහා විහාරයේ ස්ථානීය පිහිටීම ගතහොත් එය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුනකොලපලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කසාගල උඩයාල හීන්බුන්න ග්‍රාමයෙහි පිහිටා ඇත. රත්න වීරකැටිය මාර්ගයේ කි.මී.06ක් පමණ ගමන් කළවිට කසාගල රජමහා විහාරය හමුවේ.මෙම විහාරයේ ආරම්භකයා ලෙස හැඳින්වෙන්නේ කාවන්තිස්ස රජතුමා විසිනි. එම විහාරස්ථානයේ ශිලා ලිපියක කවගල විහරම යනුවෙන් සඳහන් වේ. පලවන දප්පුල, පළමුවන විජයබාහු හා කිර්ති ශ්‍රී රාජසිංහ යන රජවරු කසාගල වෙහෙර ප්‍රතිසංස්කරණයට දයක් වූ බව සඳහන් වන අතර මේ අනුව අනුරාධපුර, පොලොන්නරුව හා මහනුවර අදී යුගවලදී පැවතී රාජානුග්‍රහය පැහැදිලි වේ. ශිලා ලේඛන සාධක අනුව මෙම කසාගල වෙහෙර දළදා සමිදුන් මෙන්ම රහතන් වහන්සේලාද වැඩසිටි ඇතැයි අනුමාන කරයි.මෙහි ඓතිහාසික වටිනාකම වඩාත් තීව්‍ර කරමින් රන් පිළිමයක් කිර්ති ශ්‍රී රාජසිංහ රජු පුජා කර ඇත. එසේම රජු විසින් දළදා පෙරහරේ මෙන්ම විහාරස්ථානයේ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් අක්කර 1000ක්  වූ නින්දගමක් ද ඇත.

කසාගල විහාරයේ ස්වභාවික පිහිටීම අනුව භූමිය තට්ටු ක්‍රමයට සකස් කොට ස්මාරක ස්ථානගත කොටඇත. මෙහි චෛත්‍ය ,බෝධීන් වහන්සේ, පිළිමගෙය,පැරණි ධර්ම ශාලාව සහ භික්ෂුන්වහන්සේලා සඳහන් වූ අවාසගෙය දක්නට ලැබේ. මෙහි ඉහළ කොටසෙහි ස්වභාවික ගල් තලාව මත ඉදිකරනු ලැබූ පැරණි දාගැබකි. මෙහි පහලින් පිළිමගෙයක් යැයි සිතිය හැකි ගොඩනැගිල්ලක නෂ්ටාවශේෂ ද වේ. කසගල විහාරස්ථානයේ පැරණි වස්තු විද්‍යාත්මක ඉදිකිරීම් අතර එහි පිට ප්‍රාකාර බැම්මට විශේෂ ස්ථානයක් හිමි වේ. ප්‍රවේශ හතරක් සහිතව ශිලා කුට්ටි භාවිතා කර ඉදිකරන ලද මෙම ප්‍රාකාර බැම්ම ශිලාමය පියගැට පෙළ හා සඳකඩපහණ අදින් සඳහන් වේ.


රමණිය ගල්තලාවක් සහිත වන ලැහැබකින් වට වූ මෙම විහාරස්ථානය පැරණි රජ දවස වඩාත් ගෞරවයට හා පුජනීයත්වයට පත් වූ ස්ථානයක් බව පෙනේ. මෙහි භූමිය මහල් ක්‍රමයට සකස් කිරීම අනුව පුජනීය භූමියක ජල කළමනාකරණය පිළිබඳ සාධක හඳුනාගත හැකිය.

සිතුවම් පිළිබඳ තොරතුරු

මහනුවර සම්ප්‍රදායේ සිතුවම් අදින ලද සිත්තරාගේ දකුණු ගුරුකුලය හොඳින් ආරක්ෂා වී ඇති අනගි ප්‍රකාශයන්ගෙන් යුක්ත වූ ස්ථානයක් වශයෙන් කසාගල විහාර මන්දිරයෙහි සිතුවම් දැක්විය හැකිය. මෙහි ප්‍රවේශ මණ්ඩපය ගර්භ ගෘහය වටා ඇති ප්‍රදක්ෂිණා පථය හා ගර්භ ගෘහය යන කොටස් තුනකින් සමන්විත වේ. මහනුවර සම්ප්‍රදායේ දක්ෂිණ ශෛලිය නුතන යුගයට සංක්‍රමණය වීමේදී ඇති වූ සංක්‍රාන්තික අවධිය නිරූපණය කරනු ලබන සිතුවම් ශෛලීන් දෙක මෙහි දැකගත හැකිවේ.

විහාරයේ ඇතුළු ගර්භයේ ඇති බුද්ධ ප්‍රතිමා හා සිතුවම් ද එහි පිට බිත්තියේ ඇති මකර තොරණ,දොරටුපාල රූප,ජාතක කතා සිත්තම් සහිත සිතුවම් මහනුවර සම්ප්‍රදායේ දකුණු ශෛලිය නියෝජනය කරයි. මෙම සිතුවම් සඳහා රතු, කොළ, කළු, සුදු, නිල් යන වර්ණ හා එහි ප්‍රභේදයන් භාවිත කර ඇති අතර දේශීය හා විදේශීය අමුද්‍රව්‍යයෙන් සැදුම්ලත් උසස් වර්ගයේ වර්ණ භාවිතා කර ඇත.

මෙහි ප්‍රවේශ මණ්ඩපය කොටස් ඇති සිතුවම් බුදුසිරිත නිරූපණය කරනු ලබන අතර ඒවා දක්ෂිණ සම්ප්‍රදායේ සංක්‍රාන්තික අවධිය නිරූපණය කරයි. මෙම සිතුවම් වල වර්ණ,රේඛා, හැඩතල භාවිත කර ඇති ආකාරය මගින් විස්තරාත්මක සංරචනයන් දක්වා තිබේ. බටහිර සංස්කෘතියේ සිරිත් විරිත් හා නව කලා ආරයන්ගෙන් එම සිතුවම් පෝෂණය ලබා ඇත. විදේශීය අභාෂය කැටිකොට දක්වන වස්තු විද්‍යාත්මක නිර්මාණ වඩාත් ත්‍රිමාණ තාත්වික ආකාරයෙන් නිරූපණය වන පරිදි සිත්තමට නගා ඇත. දේව රූප හා මිනිස් රූප ද වටකුරු වූ ත්‍රිමාණ ලක්ෂණ පිළිබිඹු වන ආකාරයෙන් නිරූපිතය.


මෙම විහාරයට අයත් ධර්ම ශාලාවේ ඇති පිරිත් මණ්ඩපයේද අලංකාර සිතුවම් දැකගත හැකිය. ඒවා මහනුවර සම්ප්‍රදායේ දකුණු ශෛලිය නියෝජනය කරයි. දේශීය අමුද්‍රව්‍ය වලින් සැදුම්ලත් වර්ණක සියුම් රේඛා හා හැඩතල භාවිත කරන ලද මල් ලියවැල් රටාවන් හා සත්ව රූප ඇතුලත් මෝස්‌තර මගින් මෙය අලංකාර වී තිබේ.


මුර්ති සහ සිතුවම් පිළිබඳ විස්තර
  • ·         ඇතුළු ගර්භය

ඇතුළු ගර්භයේ බුද්ධ ප්‍රතිමා රාශියක් දක්නට ලැබේ. ඇතුළුවන විට ඉදිරිපසින් පිහිටි බිත්ත්යේ දිගින් අඩි 27ක් පමණ වූ විශාල සැතපෙන පිළිමයකි. වම්පස බිත්තියෙහි හිඳී පිළිමයක්ද දකුණු පස බිත්තියෙහි හිටි පිළිමයක්ද වේ. සැතපෙන පිළිමය පිහිටි බිත්තියට මුහුණලා පිහිටි බිත්තියේ දොරටුදෙකට මැදිව ඇති කොටසේද හිටි පිළිම දෙකකි. එම බිත්තියේ දොරටු දෙපැත්තේ කතරගම දේව රූපය හා සමාන රටාවකට රැස් මාලාව නිරූපිතය. ප්‍රතිමා පිහිටි ස්ථාන හැරුණු විට ඉතිරිවන කොටස් තිරස් අතට තීරු තුනකට බෙදා බුදුපුදට මල් අතින් ගත් විලාශයෙන් ශ්‍රාවක රූප සිතුවම් කර ඇත. පිවිසෙන දොරටු දෙකට ඉහලින් ඇතුළු පැත්තේ හංස පුට්ටුව නමැති සම්ප්‍රදායික සිංහල මෝස්තර දෙකක් තිබෙනු පෙනේ.
  • ·         පිටත ගර්භය

පිටත ගර්භයේ වම්පස බිත්තිය ප්‍රධාන වශයෙන්ම වෙන් වී ඇත්තේ බෝධිසත්ව ප්‍රතිමාවක් වෙනුවෙනි. මෙම ප්‍රතිමාව දෙපස නලා පිඹින්නන් දෙදෙනෙකු සිතුවම් කොට තිබේ. එසේම ප්‍රතිමාව දෙපස දොරටු සහ ආරක්ෂක රූප හතරක් වෙයි.වම්පස බිත්තිය අරුක්කුවක් සහිත දොරටුවකි. මෙය පිට මාලයට විවෘත වේ. මෙහි ඇරුක්කුවට ඉහළ තීරුවක දේවාරාධානව නිරූපිත වේ. බිත්තියේ දකුණු පස කෙලවර සක් පිඹින්නන් සිතුවම් කර ඇත.ඇතුළු ගර්භයේ දොරටු සහිත පිටත බිත්තියේ රමණිය මකර තොරණ දෙකකි. බිත්ති දෙකෙලවරෙහි දොරටුපාල රූප දෙකක්ද, සිංහ රූප දෙකක්ද වෙයි. දොරටු දෙකට මැද ඇති අවකාශයේ නාරිලතා මල් රටාවක් හා කිදුරු යුවලක්ද නිරූපණය වේ.
  • ·         ඇතුළු ගර්භයේ සිවිලිම

සිවිලිම සරසා ඇත්තේ සියපත් රටවකිනි. එය විසිතුරු වියනක ස්වරූපයෙන් ඇඳ තිබීම විශේෂත්වයකි.
  • ·         පිට මාලකය

ඇතුළු ගර්භයේ පිටත බිත්තිය සම්පුර්ණයෙන්ම සුවිසි විවරණය නිරූපණය කර ඇත. එම බුද්ධ රූප බදාමයෙන් නෙලා ඇති අතර බිතු සිතුවම්ද දක්නට ලැබේ. මේ කොටස් දර්ශනීය විදුරු අවරණයකින් ආරක්ෂිතය. සුවිසි විවරණය දැක්වෙන බිත්ති තුනේ පහළ කොටස් අලංකාර කිරීම සඳහා මල්කම් ලියකම් මෙන්ම යක්ෂ,මනුෂ්‍ය,වාමන සහ බහිරව රූපද අන්ද තිබේ.

පිට මාලකයේ බිත්තිය තිරස් අතට තීරු හතකට බෙදා ඇත. මේ බිත්ති මුළුමනින්ම බුද්ධු චරිතය සඳහා වෙන්කර ඇත. මහමායා දේවිය සිහිනයක් දැකීම, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බ්‍රාහ්මයන් විසින් පිළිගැනීම, සත් පියුම් පිට වැඩිම, ප්‍රථම උදානය පැවසීම යන බුද්ධ චරිතයේ විවිධ අවස්ථා නිරූපණය වේ. පහලම තීරුවේ චිත්‍ර සම්පුර්ණයෙන්ම විනාශ වී ගොසිනි.

පිටමාලයේ ප්‍රධාන බිත්තියේ ඇතුළු පැත්තේ චිත්‍ර තීරු හතරක සිතුවම් කර ඇත. පිටවීම සඳහා දොරක් සහ ජනේල දෙකක් සහිත මේ බිත්තියෙහි තීරු තුනක්ම වෙස්සන්තර ජාතකය නිරූපණය වේ. හතරවන තීරුවේ අපාය විස්තර නිරූපණයවේ. අපාය දර්ශන සිතුවම් ජනේල වශයෙන් දක්වා ඇත. ඒ සඳහා ඕවලාකාර හැඩයක් භාවිත කර ඇත.
පිටමාලයේ සිතුවම් ලෙස කට්හාරි ජාතකය, චුල්ලධර්මපාල ජතකය, සුතසෝම ජාතකය, හා පටාචාරා පුවත නිරූපණය කරයි. පිටමාලයේ තවත් බිත්තියක සිතුවම් තීරු හතරක් ඇත. නන්දිය උපාසකතුමාගේ කතාව, සෝරෙයිය  සිටුතුමාගේ කතාව, තේමිය ජාතකය නිරූපණය වේ.



1 comment:

  1. වර්ණ: ඓතිහාසික කසාගල රජමහා විහාරය >>>>> Download Now

    >>>>> Download Full

    වර්ණ: ඓතිහාසික කසාගල රජමහා විහාරය >>>>> Download LINK

    >>>>> Download Now

    වර්ණ: ඓතිහාසික කසාගල රජමහා විහාරය >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete